ලක්‌දිව ඉතිහාසයෙහි මීට පෙර කිසි කලෙක නොවූ පරිදි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ස්‌වකීය අණසක පතුරුවා ඇහැළේපොල කුමාරිහාමි සහ දරුවන් වධදී මරණයට පත් කැරැවීමෙන් පසුව, ශෝකයෙන් හා කෝපයෙන් මුසපත් වූ ඇහැළේපොල මහ අදිකාරම සබරගමුවේ සිට කොළඹට ගොස් ඉංග්‍රීසි සේනාව සමග අවුත් රජු අල්වා දීම සඳහා මහනුවර වටලෑමේ යෙදී සිටියදී තම සේනාව පසු බසින බව දැනගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මහනුවරින් පැනගොස් පණ බේරා ගැනීම සඳහා කටයුතු සංවිධානය කළේය. තම මහා භාණ්‌ඩාගාරයෙහි මහ අරමුදලෙහි වන සියලු මිල මුදල් ද, රන් රිදී මුතු මැණික් ද සිංහාසනය, ඔටුන්න, රන් කඩු, රිදී කඩු ආදී රාජ භාණ්‌ඩයන්ද වෙන තැන්වලට ගෙන යැම ලෙහෙසි කරුණක් නොවීය. ඒ ඒ ලේකම් මිටි අනුව ඒවා සුරක්‌ෂිත ලෙස සඟවා තැබීම සඳහා ඒ ඒ අයට ද භාරදීම අරමුදලේ ලේකම්වරුන් වෙත පවරන ලදී. රජුගේ කිට්‌ටුවර ඥතියෙක්‌ද එයට සහාය විය.
රජු අල්ලා ගැනීමෙන් පසු සියලු රාජ භාණ්‌ඩයන් ආපසු ගෙන්වා ගැනීමේ කටයුතු සර් ජෝන් ඩොයිලි විසින් සිදු කරන ලදී, දළදා මාලිගාවට අයත් වූ භාණ්‌ඩ රාශියක්‌ද රජුගේ අරමුදලේ භාණ්‌ඩයන් සමග විය. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඩොයිලි විසින් විශේෂ කාරක සභාවක් පත්කරන ලදී. මාලිගාවට අයත් වූ සියලු බඩු මාලිගාවට පවරාදෙන ලෙසද අනෙක් සියලු බඩු සඟවා තිබෙන තැන්වලින් ලබාගෙන නව රජයේ භාණ්‌ඩාගාරයෙහි තැන්පත් කරන ලෙසද හෙතෙම නියම කළේය. ඒ සියල්ල සිදුවූ අයුරු ඔහුගේ දිනපොතෙහි සටහන්ව ඇත. වටිනා සියලු රාජ භාණ්‌ඩ එංගලන්තයට ගෙන යන ලදී, ඔටුන්න සහ සිංහාසනය අපට පෙරළා ලැබී ඇතත් වටිනා බඩු රාශියක් එහිදී වෙන්දේසියේ විකුණන ලදී.
සැඟවී තුබූ බඩු ලබාගැනීම සම්බන්ධයෙන් බොහෝ කාලයක් ගත වන තුරු සෙවීම් කිරීමට සිදුවිය. ජෝර්ඡ් ටර්නර් නම් වූ සිවිල් නිලධාරියා ආදායම් කොමසාරිස් ධුරයට පත්වීමෙන් පසු 1829 දී රාජ භාණ්‌ඩ පිළිබඳව විශේෂ පරීක්‌ෂණයක් පවත්වා ඇත. ඔහු ඉදිරියෙහි සාක්‌ෂි දුන් කතරගම දේවාලයෙහි බස්‌නායක නිලමේ වූ මඩුගල්ලේ හා වෙලගෙදර ආප්පුහාමි සට්‌ටම්බි විසින් කරන ලද ප්‍රකාශයන් ගෙන් අරමුදලේ තත්ත්වයද, ඒ භාරව සිටි නිලධාරීන් ගැනද, එදා පැවති රජ මැඳුරේ තත්ත්වය ගැනද කරුණු රැසක් එළිවෙයි. එමෙන් ඇහැලේපොල මහ අදිකාරම රජු අල්වාදීමෙන් පසු ඉංග්‍රීසීන්ගේ සහායයෙන් රජවීමට බලාපොරොත්තුවෙන් සිටි සැටිද අනාවරණය වෙයි. එහෙයින් ටර්නර් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබෙන එම ප්‍රකශයන්ගේ අනුවාදය මෙහි දැක්‌වේ.
මඩුගල්ලගේ ප්‍රකාශය
1829 ජනවාරි 31 වැනිදා. මහනුවර කතරගම දේවාලයේ බස්‌නායක නිලමේ තැන්පත් මඩුගල්ලේ මෙසේ කියයි. "රජු සිංහාසනයෙන් පහකර දැමූ වකවානුවෙහි මහ අරමුදල භාරව සිටි වනක්‌කු නිලමේවරුන් දෙදෙනාගෙන් මම ද කෙනෙක් වීමි. අනෙක් තැනැත්තා පරලෝ සැපත් වූ දොඩන්වෙල අතපත්තු ලේකම්ය. මුදල් වශයෙන් ඇති රජුගේ වස්‌තුව ප්‍රධාන වශයෙන් තැන්පත් කර තිබුණේ මහ අරමුලෙහිය. එහෙත් ඉතාමත් වටිනා මුතු මැණික් හා රන් අභරණවලින් කුඩා කොටසක් හෙට්‌ටපංගාව අරමුදලෙහිද වැඩි හරියක් උල්පැන්ගාව අරමුදලෙහිද තැන්පත් කොට තිබිණි. ඉහත නම් සඳහන් කළ දොඩන්වෙල වානක්‌කු නිලමේ හෙට්‌ටපංගාව අරමුදලේ ලේකම් වශයෙන්ද සේවය කළේය. උල්පැන්ගාව අරමුදලේ ලේකම් ධුරය දැරුවේ පරලෝ සැපත් වූ තලගොනි වනක්‌කු නිලමේ විසිනි. දැනට ඌවේ සිටින්නා වූ මිරිහවත්තේ දිසාවෙ හෙට්‌ටපන්නෙ කන්කානම විය. දැනට කොත්මලේ සිටින වෙලගෙදර සට්‌ටම්බි උල්පැන්ගාව අරමුදලේ කංකානම විය.
ඇහැලේපොල මහ නිලමේ සබරගමුවෙන් කොළඹට පැනගිය කල්හි, ඉංග්‍රීසින් විසින් කන්ද උඩරට අල්වා ගැනීමට යන බව රජුට ලැබුණ පණිවුඩයකින් දැනගත් හෙයින්, රාජෝත්තමයන් වහන්සේ සියලු රාජ භාණ්‌ඩයන් ඇතුළු වස්‌තුව කොටස්‌වලට බෙදා පෙට්‌ටගම්වල අහුරා සුදුසු තන්හි සඟවා තැබීම සඳහා විශ්වාසදායක අයට පවරන ලෙස නියෝග කළේය. මහ අරමුදලේ සියලු වස්‌තුව බෙදා හැරීමේ වැඩ සංවිධානය කරන ලද්දේ දොඩන්වෙල වානක්‌කු නිලමේ හා මා විසිනි. එවිට අප යටතේ ලේකම්වරු පස් දෙනෙක් සේවය කළහ. මෙවේලේ මට ඔවුන්ගෙන් මතක ඇත්තේ එක් කෙනකු පමණයි. එනම් වැල්ලවත්තේ ලේකම්ය. ඔවුන් සමග වැඩකළ කංකානම්වරුන් පස් දෙනෙක් වූහ. ඉන් තුන් දෙනකු ගැන මට මතකය. ඔව්හු නම් දුම්බර මරුකනු සත්කෝරලේ දෙල්වත්ත සහ පරලෝ සැපත් වැල්ලෙවත්තේ රටේ මහත්මයාය. මේ නායකයන් අතුරෙන් ද එවේලේම පැමිණ සිටි කවරකු විසින් හෝ ඒ ඒ අයට භාරදුන් දේපළවල ලේකම් මිටි සකස් කරන ලදී, රන් රිදී කාසි පිළිවෙළට ගණන් කර සටහන් කරන ලදී. ස්‌කාට් වරාගන් කාසි හය දහසක් හෝ හත් දහසක් ඇති පෙට්‌ටියක් මගේ අතින්ම අස්‌වැද්දුම රටේ කෝරාලට භාරදුන් බව මට මතකය. තඹ කාසි මනින ලද්දේ කුරුණියකිනි. සාමාන්‍ය වශයෙන් එක් කුරුණියක රිදී සියයක් පමණ විය. ගෝනි මලුවල ලූ සල්ලි කොටසක් ගෝනුන් ලවාද, කොටසක් මිනිසුන් ලවාද අද්දවන ලදී. තඹ කාසි දෙපළක වළලන ලද්දේ මා බලා සිටියදීය. තෙල්දෙණියේ දී රිදී එක් ලක්‌ෂ අසූදහසක් නැතහොත් අනූදහසක් වැළලීමට යෙදුවෙමි. මුදල් ප්‍රමාණයද එය ආරක්‌ෂා කිරීමට භාරකරන ලද අයගේ නම් ලියන ලද තඹ සන්නසක් ඒ සමග නිකුත් කරන ලදී. දොරලියද්දේ දී රිදී 80000 ක් වැළලීමට සැලැස්‌සුවෙමි. මේ ස්‌ථාන දෙකම සොල්දාදුවන්ට පෙන්වා දෙන ලදින් ඒ මුදල් ඔවුන් විසින් ගන්නා ලදී. වැඩි කොටස ආණ්‌ඩුවට භාර දෙනු ලැබුවේ යයි කියති. අරමුදල් තුනෙහිදීම ලේකම් මිටි ලියන ලදී. එහි එක එක පෙට්‌ටියෙහි තැන්පත් කෙරෙන බඩුවල නම්ද එක එක පෙට්‌ටියෙහි තබන ලකුණද සඳහන් වේ. උල්පැන්ගාව ලේකම් මිටියේ කොටසක් සූදානම් කිරීමෙහිදී ද මම සහාය වීමි. මේ සියලු ලේකම් මිටිද, ඉඩම් පිළිබඳ ලේකම් මිටි හා වෙනත් වැදගත් ලියවිලි පෙට්‌ටිවල ලා තෙල්දෙණිය, දඹරව සහ උඩුවෙල නම් රාජකීය ගම්වලට යවන ලදී. අසවල් ගම්වලට අසවල් පෙට්‌ටිය භාර දුන්නේ යෑයි කීමට මට මතක නැත. සියලුම ලේකම් මිටි සර් ජෝන් ඩොයිලිතුමාට ලැබුණු බව ප්‍රකටයි. දැන් පරීක්‌ෂණයට භාජන කර තිබෙන ලේකම් මිටිය සොයා ගන්නා ලද බව මීට පෙර මම නොඇසීමි. ඒ පිළිබඳව පෙර පරීක්‌ෂණයක් නොපැවැති බව සැබෑය. මේ මොහොතෙහි අස්‌වැද්දුම කැලේ කෝරාලට හැර වෙන කෙනෙකුට සැලකිය යුතු ලොකු මුදලක් භාරදීම ගැන මට සිහි කල්පනාවට නොනැඟේ. එහෙත් කොයි ප්‍රමාණයක මුදලක් ගැන වුවද ලේකම් මිටියෙහි සඳහන්ව ඇත. ආණ්‌ඩුව වෙනස් වී අවුරුද්දකට පමණ පසු ඔහුට භාරදුන් මුදල්වලට කුමක් වී දැයි මා කැලේ කෝaරාලගෙන් ඇසූ බව මට මතක් වෙයි. ඒ සියල්ල අහැලේපොලට භාරදුන් බව ඔහු මට කීවේය.
මහනුවරින් දුම්බරට පැන යැමට තෙදිනකට පෙර රජතුමා තම කාමරයට මා කැඳවා පිටත් වී යැමට පළමු තම රාජකීය ආභරණ ආදිය සුරක්‌ෂිත කිරීම පිණිස උදව්දීමට නියම කළේය. එවිට එම කාමරයෙහි රජුගේ ඥතියකු වූ අයියනායක උන්නාන්සේද, වෙලෙගෙදර සට්‌ටම්බි ද උන්හ. පෙට්‌ටියෙහි තැන්පත් කර තිබෙන ආභරණයන්ගේ නාමලේඛනයක් එහි තුළ වන හෙයින් එය ගෙන සියල්ල හරිදැයි පරීක්‌ෂා කරන ලෙස රජතුමා දැන්වීය. ඒ පෙට්‌ටිය අඩි දෙකක් උස් වූ අඩි 3 ක් දික්‌වූ අඩි 1 1/2 ක් පළල් එකකි. එහි තුළ වූ කුඩා පෙට්‌ටියක මහ පදක්‌කමද දම්වැල් සහිත හත අටක කුඩා පදක්‌කම් ද, කිරිච්චි තුන හතරක්‌ද නව රුවං බැඳි හස්‌තඛඩ වළළු ජෝඩු දෙක තුනක්‌ද විය. තවත් එක එක ප්‍රමාණයේ මුදු 15 හෝ 20 ක් විය. රාජකීය ආභරණ අතුරෙන් ඒවා ඉතා වටිනා ඒවා වශයෙන් සැලකිය හැකියි. සියල්ල හරි හැටි එහි ඇති බව පරීක්‌ෂාවෙන් දැන ගතිමි. මට බඩු ලේඛනයෙන් පිටපතක් සාදා ගැනීමට නියම කරන ලදී. මා එසේ කළාට පසු පෙට්‌ටිය වසා සීල් තබන ලදී. ලොකු පෙට්‌ටියෙහි තොප්පි (ඔටුනු) සතරක් විය. එකක් මැණික් බැඳි රන්මය එකකි. එකක් පිටට නෙරූ රන් තහඩු වලින්ද, තවෙකක් දිලිසෙන රනින්ද සාදන ලද්දේ විය. අනික මුදුන රන් කොතකින් හා උඩ කොටස රෙදිවලින්ද වටය රන් තහඩු වෙන්ද සාදන ලද්දකි. රන් නූලින් කළ රෙදිවලින් මසන ලද කලිසම් දෙකක් හෝ තුනක් විය. රන් රිදී සැට්‌ටවලින් පුරවා තැබූ පෙට්‌ටිය මට නොපෙන්වන ලදී. කුඩා පෙට්‌ටිය ලොකු පෙට්‌ටිය තුළ ලා සීල් කරන ලදී. මැද මහනුවරට රජුq පලායන කල්හී මා පැමිණි ප්‍රස්‌ථාවේදී හැර ඊට පසු මම ඒ පෙට්‌ටි නොදුටිමි. සේනාංකයක් සමග පැමිණි ඇහැලේපොල ගඟින් එගොඩව, කපොල්ලක් මුර කිරීමේ යෙදී සිටි මලබාර් කුමාරවරුන් පරදවා ඉදිරියට එන බව රජු ඇසූ කල්හි, හෙතෙම තලගුනේ වනක්‌කු නිලමෙටත් මටත් ඒ පෙට්‌ටිය භාරදී එය රත්‍යද සඟවා තැබූ පොත්දල්ගොඩ පර්වතයේ ගුහාවක සඟවා තබන්නටත් එය එගම ගම්පතින් වන පරලෝ සැපත් හයිම ගහගෙදර දුක්‌ගන්නාරාළ, කපුකොටුව දුක්‌ගන්නාරාළ, හොරිමුල්ලෙ කැලේ කෝරල සහ අතපත්තු ගෙදර ආරච්චිටත් භාර කිරීමට නියම කළේය. ඒවා එහි සඟවා තිබෙන බව යම් විදියකින් ආරංචි වුවහොත් ඒවා වෙන තැනක සඟවා රැකියා යුතු යයි ඔවුන්ට නියම කරන ලදී. මිනිසුන් නොමැති හෙයින් ඒ ප්‍රස්‌ථාවෙහි ඒවා වෙන තැනකට ගෙන යැම කළ නොහැකි බව ඔව්හු දැක්‌වූහ. පසුදා උදය වන තුරු අපි එහි නැවතී සිටියෙමු. සේනාංකය ළං ළංව එන බව ඇසූ අපි දුම්බර ගම්පහ උඩවෙලට ගොස් කොයි වේලේ රජු සැපත් වේදැයි බල බලා සිටියෙමු. එයින් ස්‌වල්ප වේලාවකට පසු රජු එක්‌නැලිගොඩගේ අතට අසුවූ බව ඇසීමු. තම්බි මුදියන්සේ සහ තවත් අයද අසුවූ බව ඇසීමු. ඔහු පලායන කල්හි ඔහුට උදව් කරන අයට තෑගිදීම සඳහා මාල, මුදු ආදී ආභරණවලින් පිරි පෙට්‌ටියක් රජතුමා ගෙන ගියේය. ඒ සියල්ල එතුමා ඇල්ලූ අයගේ අතට පත්විය.
රජතුමා කොළඹට යෑවූ බව අසන තුරු මම මහනුවරට නොපැමිණියෙමි. හිස්‌වූ සිංහාසනයට ඇහැලේපොල පත් කිරීමට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව බලාපොරොත්තු වන්නේ යයි දූෂමාන ආරංචියක් රටේ පතළ වූ හෙයින් මිනිස්‌සු රහසේ ඒ ඒ තිබූ බඩු මුට්‌ටු ඔහු වෙත ගෙනාහ. ඊට පසුත් දූසමාන ආරංචිය අසත්‍යයක් බව ප්‍රසිද්ධ වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුණු හෙයින් මහජනයා රෙසිඩන්තුමාට යම් යම් කරුණු හෙළි කරන්නට පටන් ගත්හ. මා මහනුවරට පැමිණ දවස් විස්‌සකින් පමණ කාලයෙහි රෙසිඩන්ට්‌තුමා විසින් පොත්දුල් කන්දේ ගම්මුලාදෑනීන් ලවා සඟවා තිබෙන වටිනා භාණ්‌ඩ ලබා ගැනීමේ අදහසින් දැනට හාල් ගබඩා ගොඩනැඟිල්ලෙහි ඔවුන් සිරකර සිටින බව දැන ගතිමි. ඒ සියලු භාණ්‌ඩ ඔවුන් විසින් ඇහැලේපොලට භාර කරන ලද බවද ඔහු විසින් එයින් බොහොමයක්
රැසිඩන්ට්‌තුමාට බාරදෙන ලද බවද ඔවුන් නිදහස් කිරීමෙන් පසු මම ඔවුන්ගෙන් අසා දැන ගතිමි. මා සිතන පරිදි උල් පැන්ගාවේ ලේකම් මිටිය රජු අල්වා ගත් වේලෙහි රජු ළඟ තැබූ හෙයින් එය වටලෑ අය අතට පත්වන්නට ඇත. රජුගේ ආභරණ සම්බන්ධයෙන් ඇහැලේපොල හෝ රැසිඩන්ට් කවදාවත් මගෙන් විමසුවේ නැත. ලොකු පෙට්‌ටියෙහි මැණික් ඔබ්බවා කළ රන් කඩුවක් තැබූ බව මට දැන් මතක් වේ.
දැනට ඇති විස්තරේ. එහෙනම් අලුත් ලිපියකින හමු වෙමු!
No comments:
Post a Comment