"ඒකට නම් මම ඔබ හා එකඟ වෙන්නේ නෑ" යි ගෘහමූලිකයා පැවසීය. "මම කවදාවත් මරණීය ඳණ්‌ඩනය වත් ජීවිතාන්තය දක්‌වා සිර ඳඬුවම වත් විඳ ලා නැති උණාට, එහෙම ඳඬුවමක් වින්ද යි කියලා කල්පනා කරලා බැලුවත්, මගේ අදහසේ හැටියට නම් මරණීය දණ්‌ඩනය සිර දඬුවමට වඩා ආචාර ධර්මයන්ට එකඟ කාරුණික එකක්. මරණීය දණ්‌ඩනයෙන් ඒ ක්‌ෂණයෙහි ම මරලා දානවා, ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමින් හෙමින් හෙමින් මරලා දානවා, කවුද වඩා කාරුණික වධකයා, තත්පර කීපයක දී මරලා දාන එකා
ද ? නැත්නම් කෙළවරක් නැතුව අවුරුදු ගණනාවක් තිස්‌සේ ප්‍රාණය ඇඳ ඇඳ මරලා දාන එකා ද ?
"ඒ දෙන්නාම එක වගේ අශිෂ්ට ය" යි එක් අමුත්තෙක් කීවේය. හේතුව දෙන්නගේ ම අරමුණ එක ම අරමුණක් වීමයි. එනම් ජීවිතය නසා දැමීම වීම යි. රාජ්‍යය දෙවියන් වහන්සේ නෙවෙයි, ආපහු දෙන්න ඕනෑයි කියලා හිතුවොත් එහෙම දෙන්න බැරි දෙයක් ඉවත් කර ගැනීමට රාජ්‍යයට අයිතිවාසි කමක් නෑ." මේ පිරිස අතර වයස විසි පහක් පමණ වූ තරුණ නීතීඥයෙක් වූයේය. ඔහුගේ මතය විමසන ලදින් ඔහු මෙසේ කී ය. "මරණීය දඬුවමත් ජීවිතාන්තය දක්‌වා දඬුවමත් යන දෙක ම ආචාර ධර්මයන්ට එක වගේ පටහැනියි. ඒ උණත් මේ දෙකෙන් එකක් තෝරා ගන්න මට සිද්ධ වුණොත් මම ඇත්ත වශයෙන් ම දෙවැන්න තෝරා ගන්නවා. මූළු මනින්ම ජීවත් නොවෙනවාට වඩා කොහොම හරි ජීවත් වීම හොඳයි.."ඉක්‌බිතිව මේ පිළිබඳ ව උණුසුම් වාදයක් ඇති වූයේ ය.
එකල දැනට සිටිනවාට වඩා තරුණ වූ ද කැළඹෙන ගතියකින් යුතු වූ ද බැංකු කරුවා කෝපයට පත්ව තම මිටින් මේසයට පහරක් ගසා තරුණ නීතීඥයා දෙසට හැරී කෑ ගැසුවේ ය. "ඒක නම් බොරුවක්. මම විසි ලක්‌ෂයක් ඔට්‌ටු තියන්නම්, ඔබ සිර ගෙයක අවුරුදු පහක් වත් ඉන්නෙ නෑ." "ඔබ ඔය ඇත්තටම කියන කීමක් නම්," යි පිළිතුරු දුන් නීතීඥයා, "මම ඔට්‌ටු තියන්නම්, අවුරුදු පහක් නෙවෙයි පහළොවක් මං ඉන්නවා කියලා." "පහළොවක්! හරියට හරි!" යි බැංකු කරුවා කෑ ගැසී ය.
"මහත්වරුනි, මම ඔට්‌ටු තියනවා විසි ලක්‌ෂයක්!" "එකඟ උණා. ඔබ ඔට්‌ටු තියනවා විසි ලක්‌ෂයක්. මම ඔට්‌ටු තියනවා මගේ නිදහස," යි නීතීඥයා කීය. මෙ පරිද්දෙන් මෙම අමනොඥ අඥාන ඔට්‌ටු තැබීම සිද්ධ වූයේ ය. එ කල ගණන් කිරීමට නොහැකි තරම් මුදල් කෝටි සංඛ්‍යාවක් තිබුණා වූ ද හිතුවක්‌කාර ගති පැවතුම් වලින් යුක්‌ත වුණා වූ ද බැංකු කරුවා මේ ඔට්‌ටු ඇල්ලීමෙන් සන්තෝෂයෙන් ඔද වැඩී ගියේ රාත්‍රී භෝජන ගන්නා වෙලාවේ දී නීතිඥයාට කෙළි කවට බසින් මෙසේ පැවසී ය.
"වැඩේ හරිගස්‌සා ගන්න බැරි තරම් පරක්‌කු වෙන්න ඉස්‌සෙල්ලා, ඉලන්දාරියා, මොළේ එළවලා කල්පනා කරලා බලනවා. විසි ලක්‌ෂයක් කියන එක මට දෙයක් නෙවෙයි, නමුත් ඔබට ඔබේ ජීවිතයේ ඉතා ම හොද අවුරුදු තුන නැත්නම් හතර නැති වන තැනට යි වැඩ සිද්ධ වෙන්නේ. මං තුනක් නැත්නම් හතරක් කියන්නේ ඊට වඩා වැඩි කාලයක් කවදාවත් ඔබ එහි ගත කරන්නෙ නැති හන්දා. ඒ එක්‌කම, අවාසනාවන්තයා, මතක නැති කරන්න එපා බලයෙන් දෙන සිර දඬුවමට වඩා තමන් ගේ ඕනෑ කමින් ම පවරා ගන්නා
සිර දඬුවම බරපතළ බව, ඕනෑ ම මොහොතක නිදහස ලබන්න ඔබට අයිතිවාසි කමක් තියෙන බව දැන සිටීම, සිර ගෙයි ගත කරන ඔබේ මුළු ජීවිතය ම කාලකණ්‌ණී කරලා දා වි. මට ඔබ ගැන කනගාටු හිතෙනවා."
මෙ වේලේ බැංකු කරුවා කාමරයේ එක් කොනක සිට අනෙක් කොන දක්‌වා සක්‌මන් කරමින් මේ සියල්ල ම මතකයට නඟා ගත්තේ ය. අනතුරුව ඔහු තමා ගෙන් ම මෙසේ ඇසී ය. "මම මේ ඔට්‌ටුව ඇල්ලුවේ ඇයි ? මොන යහපතකට ද ? නීතිඥයාට ඔහු ගේ ජීවිතයෙන් අවුරුදු පහළොවක් නැති වෙලා යනවා, මම විසි ලක්‌ෂයක් විසි කර ලා දානවා. මෙයින් මරණීය දණ්‌ඩනය ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමට වඩා නරකයි කියලා හරි හොඳයි කියලා හරි මිනිසුන්ට ඒත්තු යනවා ද ? නෑ. නැ! ඔක්‌කොම නිකම් බොරු මනස්‌ගාත! මගේ පැත්තෙන් බලන කොට හොඳට කාලා බීලා හිටපු මිනිහකු ගේ හිතුවක්‌කාර අදහසක්, නීතිඥයා ගේ පැත්තෙන්, මුදලට ඇති කෑදර කමක්" එදා ඒ සන්ධ්‍යා සම්භාෂණයෙන් පසු ව සිදු වූ දේ ද ඔහු මෙසේ සිහියට නඟා ගත්තේ ය.
බැංකු කරුගේ නිවසේ උයන් වත්ත පැත්තෙන් සාදන ලද ගොඩ නැගිල්ලෙහි දැඩි ආරක්‌ෂා සංවිධාන යටතෙහි නීතිඥයා තම සිර දඬුවම විඳිය යුතු යැයි තීරණය කරගන්නා ලදී. මේ කාල සීමාව තුළ දී එළි පත්තෙන් ඔබ්බට අඩිය තැබීමත්, ජීවත් වන මිනිසුන් දැකීමත්, මිනිස් කට හඬ ඇසීමත්, ලියුම් හා ප්‍රවෘත්ති පත්‍ර ලබාගැනීමත්, තහනම් බවට දෙදෙනා ම එකඟ වූවෝ ය. තූර්ය භාණ්‌ඩයක් ළඟ තබා ගැනීමටත් පොත් පත් කියවීමට හා ලියුම් ලිවීමටත් වයින් පානයට හා ධූම පානයටත් ඔහුට ඉඩ දෙන ලද්දේ ය.
ගිවිසුම අනුව පිටස්‌තර ලෝකයා සමඟ ඔහු පණිවුඩ හුවමාරු කර ගත යුතු වූයේ ඒ සඳහා විශේෂයෙන් සාදන ලද කුඩා කවුළුවක් අස්‌සෙන් කතාවෙන් තොර ව නිශ්ශබ්දව ය. පොත, පත සංගීතය හා වයින් ආදී ඔහුට වුවමනා කළ සෑම දෙයක් ම වුවමනා ප්‍රමාණයකින් කවුළුවෙන් පිටට තුණ්‌ඩුවක් යැවීමෙන් ලබා ගත හැකි වූයේ ය. සිර දඬුවම දැඩි අන්දමින් හුදෙකලා එකක් බවට පත කරනු සඳහා අවශ්‍ය වූ ඉතාම අල්ප කරුණ ගැන පවා ගිවිසුමෙහි ලියා තබන ලදී. එ මෙන්ම එම ගිවිසුම අනුව 1870 නොවැම්බර් මස 14 වැනි දින දොළහේ සිට 1885 නොවැම්බර් 14 වැනි දින දොළහ දක්‌වා හරියට ම අවුරුදු පහළොවක් නීතිඥයා සිර ගෙයි සිටිය යුතු වූයේ ය. ඔහු කොන්දේසි කැඩීමට අල්ප මාත්‍ර වූ උත්සාහයක් කලහොත් නැති නම් නියමිත වේලාවට විනාඩි දෙකකට හෝ කලින් පිටට ඒමට උත්සාහයක් ගත හොත් විසි ලක්‌ෂය ගෙවීමේ වගකීමෙන් බැංකු කරුවා නිදහස් වන්නේය.
නීතිඥයාගේ කෙටි සටහන් අනුව සිතා ගැනීමට පුළුවන් වූ අන්දමින් නම්, සිර දඬුවම විඳීමට පටන් ගත් පළමු වන අවුරුද්දේ දී ඔහු පාළු ගතියෙනුත් අලස කමිනුත් මිරිකුණු කාන්සියකින් බලවත් සේ පීඩා වින්දේ ය. ගොඩනැගිල්ලේ ඔහු සිටි කොටසින් දිවා රෑ දෙක්‌හි පියානාවක නාදය ගලා ආවේ ය. වයින් පානය කිරීමත් දුම් බීමත් ප්‍රතික්‌ෂේප කළේ ය. "වයින්වලින් ආශා උසි ගැන්වෙයි," යි ඔහු ලිවී ය. "ආශාවෝ සිරකරුවකු ගේ ප්‍රධාන සතුරෝ වෙති, එ මෙන්ම හොඳ වයින් හුදකලා ව හිඳ පානය කිරීම තරම් කාන්සිය ගෙන දෙන තවත් කිසිවක් නැත." දුම් කොළ ඔහු ගේ කාමරයේ වාතය අපවිත්‍ර කෙළේ ය.
පළමු වන අවුරුද්දෙ දී සැහැල්ලු කරුණු ඇතුළත් පොත් පත් නීතිඥයා වෙත යවන ලදී. සංකීර්ණ ප්‍රේම සම්බන්ධකම් ඇතුළත් නව කථා ද අපරාධ හා අද්භුත සිද්ධීන් ඇතුළත් කතාන්තර ද ප්‍රභසය ආදිය ද ඒවාට අඩංගු වී ය.දෙවැනි අවුරුද්දේ දී පියානාවේ නාදය නෑසිණ. නීතිඥයා ඉල්ලා සිටියේ සම්භාව්‍ය ග්‍රන්ථ පමණකි. පස් වැනි අවුරුද්දේ දී යළිත් සංගීත නාදය ඇසුණු අතර සිර කරුවා වයින් ඉල්ලා සිටියේ ය. ඔහු ගැන පරික්‌ෂාකාරිව සිටි අය ඔහු සම්බන්ධයෙන් කීවේ එම අවුරුද්ද මුළුල්ලේ ම ඔහු කෙළේ කෑමත් බීමත් ඇඳෙහි වැතිර සිටීමත් පමණකි යි යන්න ය.
බොහෝ විට ඈනුම් හරිමින් කල් ගත කළ ඔහු තමා සමඟ කෝපයෙන් කතා කෙළේය. පොත් පත් ඔහු කියවූයේ නැත. ඇතැම් විට රාත්‍රී කාලවල දී ඔහු ලිවීමට වාඩි වීම සිරිත විය. බොහෝ වේලාවක් ලියූ ඔහු උදේ කාලයේ දී ඒ සියල්ලම ඉරා දැම්මේ ය. ඔහු හඬා වැලපෙනු නොයෙක් වතාවල දී ඇසිණ. සය වැනි අවුරුද්දේ දෙවැනි භාගයේ දී සිර කරුවා භාෂාවත්, දර්ශනය සහ ඉතිහාසයත් මහත් උද්යෝගයකින් හදාරන්නට පටන් ගත්තේ ය. ඔහු මේ විෂයයන් කෙතරම් ආශාවකින් අධ්‍යනය කෙළේ ද යත් ඔහුට අවශ්‍ය වූ පොත් සපයා අවසානයක් කිරීමට බැංකු කරුවාට බැරි තරම් වූයේ ය. සතර අවුරුද්දක කාලයක් තුළදී බැංකු කරුවා ඔහුගේ ඉල්ලීම පිට ග්‍රන්ථ කාණ්‌ඩ හය සියයක් පමණ මිලදී ගෙ තිබිණ. උගෙනීමේ මේ ආශාව සිරකරුවා තුළ බල පැවැත් වූ කාලයේ දී ය මේ ලියුම ඔහුගෙන් බැංකු කරුවාට ලැබුණේ.
"මගේ ප්‍රිය බන්ධනාගාර මුලාදෑනියාණෙනි, මම මේ ලිපිය භාෂා හයකින් ලියමි. ඒවා විශේෂඥයන්ට පෙන්වනු මැනවි. ඒවා ඔවුන්ට කියවීමට දෙනු මැනවි. ඔවුන්ට මෙහි එකම වරදක් වත් හමු නොවුණොත් කරුණාකර වත්තේ වෙඩිල්ලක් පත්තු කිරීමට නියෝග කළ මැනවි. ඒ හඬින් මගේ උත්සාහය නිෂ්ඵල වී නැති බව මට දැනගන්නට ලැබෙනු ඇත. සෑම යුගයකම සෑම රටකම ශ්‍රේෂ්ඨයෝ විවිධ භාෂා වලින් කතා රති. එහෙත් ඒ සෑම කෙනෙකු තුළම දැල්වෙමින් පවතින්නේ එක ම ගිනි දැල්ලය. ඒවා දැන් මට අවබෝධ කර ගත හැකි වීම නිසා මා තුළ පවත්නා දිව්‍යමය සන්තෝසය, අහෝ! ඔබට දැනගත හැකි නම්!" සිරකරුවා ගේ අභිලාෂය ඉෂ්ට වූයේය. බැංකු කරුවාගේ නියෝගයෙන් වෙඩි දෙකක් වත්තේ දී පත්තු කරන ලදී.
පසු කලෙක දී එ නම් දස වැනි අවුරුද්දට පසුව මේසය ඉදිරියේ නිසල ව වාඩි වී සිටි නීතිඥයා කියවූයේ අලුත් තෙස්‌තමෙනතුව පමණී. ගැඹුරු ග්‍රන්ථ හය සියයක් අවුරුදු හතරක දී මුළු මනින්ම ඉගෙන ගෙන අවසන් කළ මේ තැනැත්තා අවබෝධ කර ගැනීමට ලෙහෙසි වූත් කිසිම අන්දමකින් විශාල යැයි නො කිව හැකි වූත් එකම පොතක් කියවීමට අවුරුද්දකට ආසන්න කාලයක් ගත කිරීම බැංකු කරුවාගේ විස්‌මයට හේතු වූයේ ය. ඉක්‌බිති ව අලුත් තෙස්‌තමේන්තුවේ තැන ආගම් හා දේව ධර්මය පිළිබඳ ඉතිහාස පොත් වලට හිමි වූයේ ය.
No comments:
Post a Comment